Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » විස්සත් නැහැ විස්සාසබංගෙත් නැහැ

අද මෙරට දේශපාලනය ක්‍රියාත්මක වන්නේ කෙසේ ද යන්න පිළිබඳ අවබෝධයක් ජනතාවට තබා බොහෝ දේශපාලනඥයන්ටවත් නැත. විශේෂයෙන් ම සංධානයේ දේශපාලනඥයන්ට නැති බව ඔවුන් කරන කියන දෙයින් පැහැදිලි වෙයි. අප මේ ලිපි ලියන්නේ අපට තේරෙන අයුරෙන් ඒ පිළිබඳ නිසි පුද්ගලයන්ට දැනුම් දීමට ය. සමහරවිට අප කියන දෙය ද වැරදි විය හැකි ය. එසේ නම් ඒ ගැන සාකච්ඡාවක් තිබිය යුතු ය. 

අද දේශපාලනයේ මෛත්‍රිපාල සිරිසේනගේ කාර්යභාරය කුමක් ද යන්න ගැන යම් ආකාරයක කතන්දරයක් ගොතා ගැනීමෙන් තොරව, එනම් අවබෝධයක් ලබා ගැනීමෙන් තොරව, කරන කියන සෑම දෙයක් ම පුස්ස බින්දා වැන්නක් වනු ඇත. අපේ කතන්දරය වැරදි නම් ඒ වෙනස්කර ගත යුතු ය. 

ඒ බටහිරයන්ගේ ක්‍රමයයි. මම එයට විරුද්ධ වෙමි. එහෙත් බටහිරයන් අපට තනා දෙන කතාව වෙනුවට අපේ ම කතාවක් තිබීම රටට වැඩදායක ය. අනෙක් අතට අපට වැඩකිරීමට සිදු වී ඇත්තේ බටහිරයන්ගේ කතාව දැනගැනීමෙනි. මෛත්‍රිපාලට නියම වී ඇත්තේ එකම එක කාර්යයක් පමණකි. එනම් බටහිරයන්ගේ අවශ්‍යතා ඉටුකරන මේ සුළුතර ආණ්ඩුූව ශ්‍රී ල නි ප මන්ත්‍රින්ගේ, ශ්‍රී ල නි ප මෛත්‍රි කණ්ඩායමේ, සහායෙන් පවත්වාගෙන යෑම ය. ඔහු එහි දී ඒ මන්ත්‍රීවරුන්ට දේශපාලන අල්ලස් දීම්, තර්ජන ගර්ජන කිරීම්, රැවටීම් ආදිය කරයි. 

බටහිරයන්ගේ හා ඉන්දීයයන්ගේ අවශ්‍යතා ඉටුකරන තෙක් මෛත්‍රිපාලට ජනාධිපතිකම දැරිය හැකි ය. යම් අයුරකින් ඔහු බටහිර හා ඉන්දීය අවශ්‍යතාවලට පිටුපෑවහොත් ඔහුට ජනාධිපතිකම අහෝස්ි වනු ඇත. රනිල් ජනාධිපති වනු ඇත. මෙය බටහිරයන් හා ඉන්දීයයන් ඔහු ඊනියා පොදු අපේක්‍ෂක බවට පත්කර ගැනීමේ ගනුදෙනුවේ ප්‍රතිඵලයකි.

මෙය එ ජා ප ආණ්ඩුවක් මිස ඊනියා ජාතික ආණ්ඩුවක්වත් අඩුම තරමෙන් හවුල් ආණ්ඩුවක්වත් නො වේ. බොහෝ දේ බටහිරයන්ගේ අවශ්‍යතා අනුව රනිල් තීරණය කරයි. රවි කරුණානායක, ජෝන් අමරතුංග වැන්නන්ට ද එහි දී යමක් කළ හැකි ය. එහෙත් කරු ජයසූරිය වැනි දුර්වල සිංහල බෞද්ධයෝ නමට ඇමතිවරු වෙති. සංධානය නියම පුද්ගලයන්ට එරෙහිව විශ්වාසභංග යෝජනා ගෙන එයි. එහෙත් ඒ එකක්වත් එහි අන්තය කරා යොමු නො වෙයි. ඒ ක්‍රියාමාර්ගය යම් තැනක දී අවසන් වෙයි. ඒ අවසන් කරන්නේ මෛත්‍රිපාල ය. එහි අනෙක් පැත්ත ද සිදුවෙයි.

 එ ජා පක්‍ෂයට දහනවවැනි සංශෝධනය අවශ්‍ය විය. ඒ සඳහා ශ්‍රී ල නි ප මහින්ද කණ්ඩායමේ මන්ත්‍රිවරුන්ගේ ඡන්ද ලබාගැනීම අනිවාර්ය විය. මෛත්‍රිපාල ශ්‍රී ල නි ප සභාපති ලෙස මැදිහත් වී ඒ ඡන්ද ලබාදුන්නේ ය. ඔහු විස්ස පෙන්නා දෙන්නම් කාසිවලට දහනවය සම්මත කරවා ගත්තේ ය. ශ්‍රි ල නි ප හා සංධානය විස්ස බලාපොරොත්තු විය. ඒ සමග ඔවුහු රනිල්ට විරුද්ධ ව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සූදානම් වූහ. 

පසුගිය දා මෛත්‍රිපාල සංධාන නායකයන්ට කියා ඇත්තේ විස්ස සම්මත කරගැනීමට නම් විශ්වාසභංග යෝජනාව අත්හරින ලෙස ය. සංධානය ඒ පිළිගැනීමට ඇති ඉඩකඩ ඉතා අධික ය. විශ්වාසභංගයේ හුළං ඇරීම අද මෛත්‍රිපාල ලවා බටහිරයන් අනුගමනය කරන ප්‍රතිපත්තිය වෙයි. එයින් කියැවෙන්නේ එ ජා පක්‍ෂය විස්ස සම්මත කරගැනීමට සහාය දෙන බව ද? කිසිසේත් ම නැත. එ ජා පක්‍ෂයට විස්ස අවශ්‍ය නො වේ. ඔවුහු ඒ බව කෙළින් නො කියති. ඔවුන් කියන්නේ ඒ පිළිබඳ සුළු පක්‍ෂවල එකඟත්වයක් නැති බව ය.  

සංධානය මේ පිළිබඳ ව මුස්ලිම් කොංග්‍රසය විවේචනය කිරීම වැඩකට නැති ක්‍රියාවකි. සංධානය මේ ක්‍රියාවලිය නිශ්චිත ව  ම නැතිවුවත් දළ වශයෙන් දැන සිටිය යුතු විය. මුස්ලිම් කොංග්‍රසය නොවන්නට එ ජා ප වෙනත් පක්‍ෂයක් යොදාගනු ඇත. සංධානය විස්ස බලාගෙන දහනවයට ඡන්දය දුන්නේ ය. දැන් විස්ස බලාගෙන රනිල්ට විරුද්ධ විශ්වාසභංගය අකුළාගැනීමට සැරසෙයි. නිමල් සිරිපාල කිසිවක් නොදත්තකුගේ භූමිකාව රඟපායි. ඔහු මෛත්‍රිපාලගේ විපක්‍ෂ නායක ය. සද්ධාචමල් ද විපක්‍ෂ නායක කවුද යන්න පිළිබඳ තීරණයක් ගැනීම දිනෙන් දින කල්දමයි. මේ සියල්ල සුළුතර ආණ්ඩුව ආරක්‍ෂා කරගැනීම සඳහා ය. 

මෛත්‍රිපාල තම කාර්යභාරය මැනවින් ඉටුකරයි. ඔහු ආණ්ඩුවට අවශ්‍ය මන්ත්‍රීන් සැපයීමේ කොන්ත්‍රාත්තුව කාර්යක්‍ෂම ව කරගෙන යයි. අද (මැයි 29 වැනි දා) මෛත්‍රි කණ්ඩායමේ පස් දෙනකුට  ඇමති උසස්වීම් දුන්නේ ද ඒ කොන්ත්‍රාත්තුව ඉටුකිරීමට ය. මෛත්‍රිපාල කිසි දිනෙක මහින්ද අගමැති අපේක්‍ෂක ලෙස නම් නොකරනු ඇත. අද ආණ්ඩුව වැට්ටවීමට නම් මහින්ද මෛත්‍රි කණ්ඩායමෙන් යම් පිරිසක් දිනාගත යුතු ය. ඒ සඳහා සංධානය මෙහෙයවීම තවදුරටත් පමා කළ නො හැකි ය.

නලින් ද සිල්වා

2015 මැයි 29

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments