විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය මුවාවෙන් පාර්ලිමේන්තුවේ කාලය දිර්ඝ කර ගැනීමට මෛත්‍රිපාල කණ්ඩායම මෙන් ම ජාතික හෙළ උරුමය ද කුඩා පක්‍ෂ ද පමණක් නොව එ ජා පක්‍ෂය ද උත්සාහ කරයි. එ ජා පක්‍ෂය කුමක් ප්‍රසිද්ධියේ කීව ද ඔවුන්ට ද අවශ්‍ය පාර්ලිමේන්තුව දිගට පවත්වාගෙන යෑම ය. විස්ස සම්මත කර ගැනීමට බාධා පමුණුවන වගන්ති එ ජා පක්‍ෂයෙන් ද අනෙක් පක්‍ෂවලින් ද ඉදිරිපත් වෙයි. මනාප ක්‍රමය ජනතාවට අවශ්‍ය නැති වුව ද දේශපාලනඥයන්ට අවශ්‍ය වෙයි. තම මැතිවරණ කොට්ඨාශයෙන් පරාජය වූ කි දෙනෙක් අද මනාප ක්‍රමය නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙත් ද?
ජ වි පෙ, මුස්ලිම් කොංග්‍රසය, අසාද් සාලි, මනෝ හා ප්‍රභා ගනේෂන් තිස්ස විතාරණ, ඩිව් ගුණසේකර ආදීහු විස්සට විරුද්ධ වෙති. ඒ ඔවුන්ට එමගින් පාර්ලිමේන්තුවට පත්වීමට අවස්ථාවක් නොලැබෙන බැවිනි. අසාද් සාලි මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මෛත්‍රිපාල බලයට පත් කෙළේ තමන් නමුත් දැන් යෑමට සිදුව ඇත්තේ තමන්ට බව ය. මෛත්‍රිපාල බලයට පත් කරනු ලැබුයේ සුලු ජාතික පක්‍ෂ හා ජ වි පෙරමුණ විසිනි. ඒ බව අපි දනිමු. අසාද් සාලි කියන්නේ ඔවුන්ට දිට්ඨධම්ම වේදනීය අකුසලයක විපාක විඳින්නට සිදු වී ඇති බව ද?
මේ පක්‍ෂ අද ඉදිරිපත් කරන අදහස නම් සුලු පක්‍ෂවල මතවාද ද පාර්ලිමේන්තුවේ නියෝජනය විය යුතු බව ය. බැලූ බැල්මට එහි ඇත්තක් වෙයි. ප්‍රජාතන්ත්‍රවාදය අනුව එය එලෙස විය යුතු යැයි ද ඇතැමුන් කියනු ඇත. එහෙත් අප මේ කතා කරන්නේ මතවාද පාර්ලිමේන්තුවේ නියෝජනය වීම ගැන ය. දැන් ප්‍රශ්නයක් වෙයි. දේශපාලන පක්‍ෂ නොවන කණ්ඩායම්වල මතවාද පාර්ලිමේන්තුවේ නියෝජනය විය යුතු ද? එසේ නම් ඒ සිදු වන්නේ කෙසේ ද යන්න ය.
ඕනෑම මතවාදයක් අවසාන වශයෙන් ගත්කල දේශපාලනික වෙයි. බුදුදහම මතවාදයක් හෝ දැනුම් පද්ධතියක් හෝ නොවන බැවින් ඒ ගණයට අයත් නො වේ. එහෙත් සිංහල බුද්ධාගම දේවානම්පිය තිස්ස රජු දවස දේශපාලනික මතවාදයක් වීම ඈරඹිණි. එසේ නොවන්නට බුදුදහම ඉන්දියාවෙන් මෙන් ම මෙරටින් ද ඒ හේතුවෙන් ලෝකයෙන් ද අතුරුදහන් වීමට තිබිණි. අද එය මෙරට දේශපාලනයෙහි ක්‍රියාත්මක බලවේගයකි. විවිධ ආගම් ද මතවාද වන බැවින් ඒ දේශපාලනික වෙයි. කතෝලික, ක්‍රිස්තියානි හා මුස්ලිම් පල්ලි දේශපාලන සංස්ථා ය. කාදිනල්තුමා පාසල් රජයට ගැනීම ගැන කතා කරන්නේ දේශපාලන අර්ථයකිනි. සීසර්ගේ දේ සීසර්ටත් දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේටත් අයත් වන්නේ යැයි කීම පට්ටපල් බොරුවකි. මේ ඊනියා වෙන් කිරීම ම බටහිර දැනුමේ තවත් පට්ටපල් බොරුවක් පමණකි. මෙරට මුස්ලිම් පක්‍ෂ විසින් නියෝජනය කෙරෙන්නෙ මුස්ලිම් මතවාදය ය, ඉස්ලාම් ආගමික දේශපාලනය ය. රටේ අධ්‍යාපනය හා ජනමාධ්‍ය විසින් නියෝජනය කෙරෙන්නේ යුදෙවු ක්‍රිස්තියානි මතවාදය හා අදාළ දේශපාලනය ය.
ඊනියා සුලු පක්‍ෂවලට තම මතවාද පාර්ලිමේන්තුවේ නියෝජනය කිරීමට අමුතු අවස්ථා ලබා දිය යුතු නො වේ. එසේ නම් දේශපාලන පක්‍ෂ විසින් නියෝජනය නොකෙරෙන මතවාදවලට ද පාර්ලිමේන්තුවේ නියෝජනත්වයක් ලබා දීමට ක්‍රමයක් සකස් කළ යුතු ය. සුලු පක්‍ෂ කළ යුත්තේ එක්කෝ තමන් මහා පක්‍ෂ බවට පත්වීම ය. ඒ කළ හැක්කේ රටේ බහුතරය දරණ මතය අවශෝෂණය කර ගැනීමෙනි. නැත්නම් තම මතය බහුතර ජනතාවගේ මතය බවට පත් කිරීම ය.
නලින් ද සිල්වා
2015 ජූනි 20
No comments
Post a Comment