Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » යහපාලන බෝඩ් ගසාගෙන රටපාවා දෙන හොර හැත්ත....!!!

අන්දවමින් කන්දක්‌ විළිලා බිහිකළ යහපාලන කෙන්දට අදාළ කඩඉම් දින සියයෙන් තවත් ඉතිරිව ඇත්තේ සතියකටත් අඩු කාලයකි. හරියටම කිවහොත් අද ඉරිදා දවස වන විට එකී දින සියයෙන් දින අනූහයක්‌ම ගෙවී ගොස්‌ අවසන්ය. 

මෙම යහපාලන දින සියය තුළ අපි අරක කරන්නම්, මේක කරන්නම් යෑයි කියමින් ආණ්‌ඩුව ජනතාවට දුන් පොරොන්දු බොහෝ විය. පවතින මැතිවරණ ක්‍රමය වෙනස්‌ කර විධායක ජනපති ධුරය අහෝසි කර දමන්නේ යෑයි කීවේය. (එය අහෝසි කළ යුතුද නැද්ද යන්න වෙනම කල්පනා කළ යුතු කතාවකි) රටේ ජන ජීවිතය සුත මුදිත කරන්නේ යෑයිද කීවේය. 

පසුගිය රජයේ හොරු අල්ලා දඬුවම් කරන බවද පුන පුනා කීවේය. මෙසේ සියල්ල කර අවසානයේ පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයක්‌ පවත්වන බවද කීය. නමුත් ගෙවී ගිය දින අනූහයට යහපාලනය අටඅනූවක්‌ පිස්‌සු කෙළිමින් හොරු සමඟ හෙළුවෙන් සිටියා හැරෙන්නට සිදු කළ දෙයක්‌ නම් නොමැත.

එසේ සිදු කළ දෙයක්‌ නොමැති වුවද සිදු වූ දේවල් කිහිපයක්‌ නම් තිබෙන්නේය. පරාජයන් මාලාවකට මුහුණ දී අසරණව සිටි රනිල් වික්‍රමසිංහ  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වාසනා ගුණය නිසාම පාර්ලිමේන්තු බලයක්‌ නොමැතිව නැවත රටේ අගමැති වීම ඉන් එකකි. හිටපු ජනාධිපතිනියට ජනබලයක්‌ නැතිව කැබිනට්‌ මණ්‌ඩලයටද ඉහළින් ඇතැයි කියන විධායක සභාවේ වාඩි වීමට ලැබීම තවෙකකි. 

ඒ අතරේ විදේශගත කොටි හිතවාදී හෙවත් ඊළම ඉල්ලන දෙමළ ඩයස්‌පෝරාවේ සහ බෙදුම්වාදී දෙමළ ජාතික සන්ධානයේ සිහින සැබෑ කරමින් සිදු වූ දේ ද බොහෝ ඇත. ජනාධිපතිවරයා රටින් රට යද්දී ඉබේටම පුටු හිමිවූ ඇතැම් පාවා දෙන්නන් "කොළේ වසා ගේම ගහන" අතරේ රට බේරා ගත් රණවිරුවා අසරණ කරමින් උතුරේ අධිආරක්‍ෂක කලාපවල දෙමළ ජනතාව යළි පදිංචි වූයේ ඒ සිහින අනුවය. 

අපේ රණවිරුවන්ට එරෙහිව මඩ චිත්‍රපට තැනූ කැලම් මැක්‌රේලා මෙන්ම ඩොනල්ඩ් ඥනකෝන් වැන්නවුන් පසුගිය දිනවල උතුරට ගොස්‌ පොරවල් සේ රඟන්නට වූයේද එකී පාවා දෙන්නන් නිසාය. මෙලෙස රටට එරෙහි බලවේග යහපාලනය තුළ සක්‍රීය වෙද්දී ආණ්‌ඩුව රටට කීවේ තමන් උතුරේ දෙමළ ජනතාවට සාධාරණය ඉටු කරන්නේ යෑයි කියාය.

එහෙත් සාධාරණය කෙසේ වෙතත් ආණ්‌ඩුව මේ කරනුයේ අමුම අමු පිස්‌සු නැටීමක්‌ බව වටහා ගැනීමට ප්‍රභාකරන්ගේ බෝම්බවල රහ දන්නා ජනතාවට එතරම් අපහසු නොවන බවද මෙහිදී යහපාලනයට ඇසෙන්නට කිව යුතුය. 

දින සියයෙන් සියල්ල සිදු කර "ඩිස්‌නි ලන්තය කොළඹට ගෙන එන" අන්දමින් ජනතාවට කතා කරන්නට වූ යහපාලනයේ "හතර පූට්‌ටු" ඇතැම් අවස්‌ථාවල හතර අතට බෙදී මෙසේ පිස්‌සු නටන අතරේ පසුගිය දිනවල දේශපාලන වෛරයෙන් ඇස්‌ රතු කරගෙන ආතක්‌ පාතක්‌ නැතිවම නටන ලද එහෙත් මෙතෙක්‌ හරිහැටි කරළියට නොපැමිණි පිස්‌සුවක්‌ද තිබිණි.

ඒ, රටේ විදේශ සේවය මුළුමනින්ම අරාජික කරමින් දේශපාලන පත්වීම් යෑයි පවසා ඉකුත් රාජපක්‍ෂ රජය සමයේ විදේශ තානාපති කාර්යාලවලට පත්කර යවා සිටි තානාපතිවරුන් විසිහත් දෙනකු හිටි හැටියේම යළි කැඳවීමට ආණ්‌ඩුව පියවර ගැනීමය.

මෙය යහපාලනය ආරම්භයේදීම සිදු වූවකි. නමුත් එසේ කැඳවන ලද තානාපති නිලධාරින් වෙනුවට අදාළ තානාපති කාර්යාල සඳහා වෙනත් නිලධාරින් පත් කර යෑවීමට මාස තුනකට ආසන්න කාලයක්‌ ගත වීත් අදටත් ආණ්‌ඩුවට නොහැකිව ඇත. මෙසේ තානාපති නිලධාරින් ආතක්‌ පාතක්‌ නොමැතිව යළි කැඳවීම රටේ විදේශ සේවය අරාජික කරමින් ආණ්‌ඩුව කෙළින ලද පට්‌ට පිස්‌සුවක්‌ යෑයි අප කියන්නේද ඒ නිසාය.

මෙසේ තානාපති නිලධාරින් විසිහත් දෙනකු හදිසියේ යළි කැඳවීමේදී යහපාලනය අතින් සිදු වූ බරපතළම සිදුවීම වන්නේ දැනට එල්ටීටීඊ සංවිධානයේ කටයුතු ප්‍රබල ලෙස ක්‍රියාත්මකව තිබෙන හෙවත් විදේශගත කොටිහිතවාදී ඩයස්‌පෝරාව සක්‍රීයව සිටින රාජ්‍යයන් අටකට අයත් තානාපතිවරුන් හත් දෙනකු හා කොන්සල් ජනරාල් නිලධාරින් දෙදෙනකුද නැවත කැඳවීමට කටයුතු කිරීමය.

ඒ අනුව අද දවසේ ඵල්ටීටීඊය සක්‍රීය කැනඩාවේ ඔටාවා නුවර ඇති ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ කාර්යාලයට මහකොමසාරිස්‌වරයකු නැත. එසේම කැනඩාවේ ටොරොන්ටෝ නුවර ඇති කොන්සල් ජනරාල් කාර්යාලයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයාද නැත. එහි සිටි නිලධාරියාද යළි කැඳවීමට ආණ්‌ඩුව කටයුතු කළේය. 

එල්ටීටීඊ ක්‍රියාදාමය ප්‍රබල ලෙස පවතින ප්‍රංශය, නෙදර්ලන්තය, ස්‌වීඩනය, ඉතාලිය, නෝර්වේ, එක්‌සත් රාජධානිය සහ ඕස්‌ටේ්‍රලියාව යන රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාල අද ක්‍රියාත්මක වන්නේද යහපාලනයට අනුව තානාපතිවරුන් නොමැතිවය. 

අද දවසේ රට යන පැත්ත දෙස බැලීමේදී ඇතැම් විට එල්ටීටීඊය ක්‍රියාත්මක රටවලට ශ්‍රී ලංකා තානාපතිවරුන් අවැසි නැතැයි යන්න ආණ්‌ඩුවේ හැඟීම වී තිබේදැයි අප නොදන්නා කරුණකි. නමුත් එය රට අරබයා බරපතළ තත්ත්වයක්‌ බව නම් කිව යුතුය.

මෙසේ යහපාලනය මගින් තානාපති නිලධාරින් යළි කැඳවීම හමුවේ මේ වන විට අපේ ශ්‍රමිකයන් ඇතුළු ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් ජීවත් වන රටවල් ගණනාවකම තානාපති කාර්යාල ක්‍රියාත්මක වන්නේද තානාපතිවරුන් නොමැතිව බව විදේශ දූත මණ්‌ඩල වෙතින් වාර්තා වන්නේය. 

සිංගප්පූරුව, ජපානය, දකුණු කොරියාව, එක්‌සත් රාජධානිය, ඕමානය, ලෙබනනය, ජෝර්දානය, සෞදි අරාබිය, කුවේටය, ඉරානය, ආදී රටවල් ඒ අතරින් ප්‍රධාන තැනක ඇත. එසේම යහපාලනයේ හදිසි කැඳවීම හේතුවෙන් අද දවසේ පිලිපීනය, තායිලන්තය, ඉන්දුනීසියාව, වියට්‌නාමය, දකුණු අප්‍රිකාව, රුසියාව, බංගලාදේශය, ඊශ්රායලය,මියන්මාරය, මාලදිවයින, සීෂේල්ස්‌, උගන්ඩාව, පෝලන්තය, බ්‍රසීලය, ජෙඩා නුවර, නිව්යෝර්ක්‌ සහ ඕස්‌ටේ්‍රලියාවේ සිඩ්නි නුවර ආදී රටවල ඇති මහකොමසාරිස්‌ කාර්යාල, නිත්‍ය නියෝජිත කාර්යාල, කොන්සල් ජනරාල් කාර්යාල සහ තානාපති කාර්යාලද ඇත්තේ යහපාලනයේ ඉහත පරිදිම අරාජික වීය.

කිසියම් රටක්‌ නියෝජනය කිරීමට සිටින තානාපතිවරයා නොමැතිව තානාපති කාර්යාලයක්‌ ක්‍රියාත්මක වීමේදී මතුවන ගැටලු රාශියක්‌ ඇත. ඉන් ප්‍රබලම තත්ත්වය වන්නේ අදාළ රටේ පුරවැසියකු අරබයා හෝ වෙනත් කරුණක්‌ සම්බන්ධයෙන් ප්‍රශ්නයක්‌ මතුවූ කල ආදාළ රාජ්‍යයේ රජය සමඟ සෘජුව කතාබහ කර කඩිනමින් ගැටලු විසඳා ගැනීමට ඇති අවස්‌ථාව අහිමි වී යැමය. 

ශ්‍රී ලංකාව වෙනුවෙන් දැනට ලොව පුරා පිහිටුවා තිබෙන තානාපති කාර්යාල, කොන්සල් ජෙනරාල් කාර්යාල, මහකොමසාරිස්‌ කාර්යාල සහ නිත්‍ය නියෝජිත කාර්යාල ප්‍රමාණය සංඛ්‍යාත්මකව ගතහොත් ගණනින් හැටහයක්‌ (66) වන්නේය. යහපාලනයේ හදිසි තීන්දුව හමුවේ ඉහත පරිදි මේ මොහොත වන විට අරාජික වී තිබෙන්නේ එකී කාර්යාල හැටහය අතරින් 27 කි.

මෙසේ ලොව පුරා ඇති මෙරට තානාපති කාර්යාල විසිහතක්‌ තානාපතිවරුන් නොමැතිව අරාජික වී තිබියදී අද ඒ අරබයා කඩිනමින් විසඳුමක්‌ ලබා දීමට වත්මන් යහපාලනයට නොහැකි වී තිබෙන්නේ කුමක්‌ නිසාද...? ඒ පිටුපස ඇත්තේ අපූරු කතාවකි.

යහපාලන ආණ්‌ඩුව ඉහත තානාපති නිලධාරීන් හදිසියේම මෙරටට කැඳවීමට පියවර ගනු ලැබුවේ දේශපාලන පත්වීම් යන්න ඉදිරියට දමාය. එසේ කැඳවීමෙන් පසු එකී නිලධාරීන් වෙනුවට අදාළ තානාපති කාර්යාල සඳහා පත් කර යෑවීමට වෙනත් නිලධාරින් විසිහත් දෙනකු නම් කිරීමට මීට මාසයකට පමණ ඉහතදී යහපාලකයෝ කටයුතු කළහ. 

ඒ විදේශ සේවයේ නිලධාරින් 16 ක්‌ සහ දේශපාලන පත්වීම් මත නිලධාරින් 11 දෙනකු වශයෙනි. නමුත් එසේ නම් කළද විදේශ අමාත්‍යංශය තුළින් අද ඇසෙන්නේ එකී නම් කළ නිලධාරින් අතර තිබෙන දේශපාලන පත්වීම් ප්‍රමාණය ඉහළ දැමීම සඳහා යහපාලනයට ඇති වූ හදිසි අවශ්‍යතාවක්‌ මත මේ වන විට එම නාම ලේඛනය ඉවතට විසි වී තිබෙන බවය. 

අපූරුය. සියල්ල දේශපාලන යෑයි කියමින් රටවල් විසිහතක තානාපතිවරුන් කැඳවූ ආණ්‌ඩුව මේ මොහොත වන විට ඒ සඳහා කළ යුතු නැවත පත්කිරීම් ප්‍රමාද කරනුයේද යහපාලනයට අවශ්‍ය දේශපාලන පත්වීම් ප්‍රමාණය අවම වීම හමුවේය. ඒ අනුව බලන කල සිදු වන සියල්ල තුළ ඇති එහෙත් ඇතැම් විට රටට නොපෙනෙන යහපාලනයේ නිරුවත කොතරම් අපූරුද?

තානාපති නිලධාරින් නැවත පත් නොකිරීම හමුවේ මේ මොහොත වන විට ලෝකය තුළ අභියෝගයට මුහුණ දී තිබෙන්නේ රටය. නමුත් රටට කුමක්‌ වුවද ආණ්‌ඩුවට ඇති ප්‍රශ්නය වී තිබෙන්නේ දේශපාලන පත්වීම් ප්‍රමාණය අවම වීමය. 

ආණ්‌ඩුවේ සැබෑ කෙරුවාව එසේ වෙද්දී තානාපති කාර්යාල විසිහතකට තානාපතිවරුන් පත් කිරීමට ප්‍රමාද වීම හමුවේ වෙනත් පැත්තකින් මතුවන ගැටලුවක්‌ද ඇත. ඒ සාමාන්‍ය ක්‍රමවේදය අනුව අදාළ කාර්යාලවලට තානාපතිවරුන් පත් කිරීම හෙට දවසේ ආරම්භ කළද තවත් මාස දෙකහමාරක්‌වත් ගත වන තුරු එම තානාපති කාර්යාල දිගටම අරාජිකව පැවතීමේ තත්ත්වයක්‌ නිර්මාණය වී තිබීමය.

සාමාන්‍යයෙන් තානාපතිවරයකු පත් කිරීමේදී ඊට අදාළ පිළිගත් ක්‍රමවේදයක්‌ විදේශ සේවයේ ක්‍රියාත්මකය. තානාපතිවරයකු ලෙස රට නියෝජනය කිරීමට පත් කර යවන නිලධාරියා නම්  කිරීමෙන් පසු ඔහු පිළිබඳ සියලු විස්‌තර මුලින්ම ඉදිරිපත් කෙරෙනුයේ උසස්‌ නිලතල පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අනුමැතිය සඳහාය. 

එතැනින් අනුමැතිය හිමි වූ පසු අදාළ නිලධාරියා පිළිබඳ සියලු ජීව දත්ත තොරතුරු ඔහු පත් කර යෑවීමට නියමිත රටේ පවතින රජය වෙත ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කළ යුතුය. අදාළ රටේ අනුමැතිය ලබා ගැනීම සඳහාඑය අනිවාර්යයෙන්ම සිදු කළ යුත්තකි.

මෙසේ තොරතුරු ඉදිරිපත් කෙරුණුද තානාපති නිලධාරියකු තර රටට පත් වී පැමිණීමේදී ලොව කිසිදු රටක්‌ එක්‌වරම එය අනුමත කිරිම සිදු නොකරන්නකි. 

පත්වීම් ලැබ පැමිණෙන නිලධාරියා පිළිබඳ ජිවදත්ත තොරතුරු ඉදිරිපත් වීමෙන් පසු මුලින්ම කෙරෙන්නේ එම නිලධාරියා අයත් රට තුළ තිබෙන ඔවුන්ගේ තානාපති කාර්යාලය ඔස්‌සේ තොරතුරු විමර්ශනයක යෙදීමය. එහිදී සිය බුද්ධි සේවාවන්හි සහාය ලබා ගැනීමටද ලොව බොහෝ රටවල් ක්‍රියා කරති. 

පැමිණෙන නිලධාරියාට තම රට තුළ තානාපතිවරයකු ලෙස කටයුතු කිරීමට විදේශ රාජයයන් අනුමැතිය දෙන්නේ එම සොයාබැලීම්වලින් අනතුරුවය. සාමාන්‍යයෙන් ඊට ගත වන කාලය මාස දෙකකට නොඅඩු වන්නකි. වත්මන් රජය නව තානාපතිවරුන් පත් කිරීම හෙට ආරම්භ කළද අදාළ තානාපති කාර්යාල තවත් මාස දෙකහමාරක්‌ පමණ අරාජිකවම පවතිනු ඇතැයි අප කියන්නේ යථාර්ථය එය නිසාය. 

එසේම මේ මොහොත වන විට රටේ දේශපාලනය තුළ පවතින අවිනිශ්චිත බව හමුවේ යම් ලෙසකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක්‌ සිදු වුවහොත් මෙකී තත්ත්වය තවත් බරපතළ එකක්‌ බවට පත්වීම නොවැළැක්‌විය හැක්‌කක්‌ බවද මෙහිදී කිව යුතුය.

මන්ද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේදී උසස්‌ නිලතල පිළිබඳ කාරක සභාවද අහෝසි වී යන බැවින් යළි මැතිවරණයක්‌ තුළින් පාර්ලිමේන්තුව ස්‌ථාපිත කෙරෙන තුරු අදාළ තානාපති කාර්යාල සඳහා තානාපතිවරුන් පත් කර යෑවීමට නොහැකි වන බැවිනි. එහිදී ඇතැම් විට ඉදිරියට තවත් මාස හතක්‌ පමණ යන තුරුම ඉහත තානාපති කාර්යාල තානාපතිවරුන් නොමැතිව පවත්වාගෙන යැමට අපට සිදු වනු ඇත.

එය යහපාලනය අද රාජ්‍යතාන්ත්‍රික සබඳතා හමුවේ පෙන්නුම් කර සිටින බරපතළ නොහැකියාවක්‌ නොවන්නේද? ආණ්‌ඩුවේ නොහැකියාව එසේ වුවද මෙකී තානාපති ගැටලුව ඉදිරියේ එක්‌ පුදුම සහගත තීරණයක්‌ ගෙන අපූරු පත් කිරීමක්‌ සිදු කිරීමටද මීට මාසයකට පමණ ඉහතදී රජය කටයුතු කරනු ලැබීය.

ඒ ඉකුත් 2009 වසරේ සිට විදේශ ලේකම්වරයාගේ අවසරයකින් තොරව 124 වතාවක්‌ විදේශගත වුණ සහ විදේශ සේවයේ කාර්යක්‍ෂමතා කඩඉම් විභාගය හත් වතාවක්‌ අසමත් වූ විදේශ අමාත්‍යංශයේ නිලධාරියකු මැලේසියාවේ නියෝජ්‍ය තානාපතිවරයා ලෙස පත් කර යෑවීට කටයුතු කිරීමය. 

මෙකී නිලධාරියා පිළිබඳ විදේශ අමාත්‍යංශය තුළ අදටත් කියෑවෙමින් තිබෙන කතා බොහෝමයකි. කාර්යක්‍ෂමතා කඩඉම් විභාගය අසමත් වූ වාර සඳහා පසුගිය රජයේ විදේශ අමාත්‍යංශ අධීක්‍ෂණ මන්ත්‍රිවරයා හරහා රුපියල් 36 ලක්‍ෂයක හිඟ වැටුප් ලබා ගැනීම ඉන් එක්‌ කතාවකි.

මෙරට තානාපති සේවය හා විදේශ අමාත්‍යංශය අරබයා රජයේ ක්‍රියාත්මකභාවය පිළිබඳ කතා කිරීමේදී අද යහපාලනයේ නොහැකියාව හෙවත් ආණ්‌ඩුවේ පාණ්‌ඩුකම ඇත්තේ එතැනය. මෙවන් පාණ්‌ඩුව හැදුණාක්‌ මෙන් හැකියාවක්‌ නැතිව සිටින වුන් දුටු කල අතීතයේ අපේ ගමේ ගොඩේ ආච්චි අම්මලා කී එක්‌ අපූරු කතාවක්‌ද තිබිණි. ඒ "තෝ වගේ උන් පොල්පිත්තකින් කපා ගත හැකි" යෑයි යටනුවෙනි. 

මේ වන විට යහපාලනය දෙස බැලූ කල අපට සිහිවන්නේද ඒ කතාවම බව රටටම ඇසෙන්නට අවසන් වශයෙන් කිවයුතුව තිබේ.

සමන් ගමගේ


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments